කළුදිය පොකුණ තපෝභූමිය

කළුදිය පොකුණ පිහිටියේ අඩි 1000ක් පමණ උස මිහින්තලා කඳු වැටියේ එක් බෑවුමකය.මිහින්තලේ ප්‍රධාන කඳු ගැට කිහිපයකි . අම්බස්තලය,ඇත්වෙහෙර කන්ද, රාජගිරි කන්ද , හා අනායිකුට්ටි කන්ද  ඒ කඳු ගැටය.ඒ සෑම කන්දක්ම අතීත නටබුන් වලින් පිරී පවතී. වංශකතාකරුවා මිහින්තලය “චේතියගිරි“ නමින් හදුන්වන්නේ එය දාගැබ්වලින් පිරී පැවතුන හෙයිනි.

මෙයට කළුදිය පොකුණ යැයි ව්‍යවහාරකිරීමට පටන් ගෙන ඇත්තේ පොකුණ පතුලෙහි පිහිටි ගල්තලාව නිසා ,ජලය කළු පැහැයෙන් දිස්වන නිසාය.මිහින්තලේ සිව්වන මහින්ද රජුගේ “පොරොදෙණි පොකුණ“ මෙය විය හැකි බව ඉතිහාසඥයන්ගේ මතයයි.

මිහින්තලේ පිහිටි විශාලම පොකුණ වන මෙය කඳු වලින් වට වූ විලක් වැන්න.එය තනා ඇත්තේ ඇත්වෙහෙර කන්දත් ,අනායිකුට්ටි කන්දත් අතර පිහිටි මිටියාවතේ වේල්ලක් බැදීමෙනි. මේ කඳුවල සිට ගලා බසින උල්පත්වලින් පොකුණට ජලය සැපයේ.පොකුණෙ දකුණු හා නිරිතදිග ඉවුරු වලට ස්වාභාවිකව පිහිටි ගල් උපයෝගී කර ගෙන තිබීම නිසා වක්‍ර ස්වාභාවයක් ගනී. පොකුණේ උතුරු  බැම්මේ දිග අඩි 280 කි.  නැනෙහිර බැම්ම අඩි 720 කි. දකුණු දිග බැම්ම අඩි 66 ක්ද , බස්නාහිර අඩි 890 ක්ද වේ.
මෙහි  ජලය වැඩි වූ විට එම ජලය පිට කිරීම සදහා ගලින් කරන ලද නලයක් කැණීම් වලදී හමුවී ඇත.

භික්ෂූන්ගේ සනීපාරක්ෂාව සදහා පිරිසිදුකම  ඉතාමත් වැදගත් වූ හෙයින් පැරණි විහාරාම සංකීර්ණවල  හැමවිටම නාන පොකුනු හෝ නාන  ගෙවල්(නහාන කොට්ටක) විය. රිටිගල ,අරන්කැලේ වැනි සෙනසුන්වල  ඇති පොකුණු ද, අභයගිරියේ ඇත් පොකුණද  විහාල පොකුණු වලට නිදසුන්ය.

මිහින්තලයේ භික්ෂූන් 2000ක් පමණ වාසය කළ බව පාහියන් හිමි සිය දේශාටන වාර්තා වල සදහන් කරයි.මෙම කළුදිය පොකුණ තපෝභූමියෙහිද බොහෝ භික්ෂූන් වාසය කරන්නට ඇත. මෙම සුන්දර පරිසරයේදී බවුන් වඩා, භාවනාවෙන් මනස සැහැල්ලු වූ  භික්ෂූන් වහන්සේ  මෙහි බැස දිය නාමින් පීනමින් සැහැල්ලු ලෙසින් හැසිරෙන්නට ඇත.


                                 සටහන -     කුසුම්සිරි විජයවර්ධන

                                 ඡායාරූප -    චාන්දනී කළුපහන

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment