ගෑනු ළමයෙක් එක්ක හිනාවුනත් කටකතා හැදෙනවා



සුරාජ් මාපා කියන්නේ වසර ගණනාවක්ම ප්‍රේක්ෂක හදවතේ පැලපදියම් වුණු රංගන ශිල්පියෙක්. මේ දවස්වල සුරාජ් රඟපෑමෙන් අයින් වෙලා අලුත් රස්සාවක් පටන් අරන් කියලා අපට ආරංචි වුණා. සුරාජ් මේ දිනවල නගර සභාවේ කුණු ට්‍රැක්ටර් රියදුරෙක් විදිහට රැකියාවක් කරනවා.
 කොහොමද අලුත් රස්සාව?
ඇත්තටම, රංගන ජීවිතේ මම ලබපු ලොකු අද්දැකීමක් ඒක. චුට්ටෙ කියන චරිතයට මම ආදරෙයි.
 සුපුරුදු ප්‍රශ්නෙන්ම කතාව පටන් ගමුකෝ...
ඉතින් කොහොමද?
ටෙලි නාට්‍ය රූගත කිරීම් නිසා ටිකක් විතර කාර්යබහුලයි. කොහොම වුණත් සතුටින් ජීවිතේ ගෙවිලා යනවා. නර්තන වැඩත් කලා වැඩවලට අමතරව කරගෙන යනවා.
 පසුගිය කාලෙ නම් වැඩිය පේන්න හිටියේ නැහැ නේද?
මම ජනප්‍රිය වෙන්න වැඩ භාරගත්තෙ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් විතරයි කරන්නේ. පේන්න හිටියත් නැතත් සුරාජ් මාපාව ප්‍රේක්‍ෂයන්ට අමතක වේවි කියලා මම හිතන්නේ නැහැ.
 පහුගිය කාලේ වැඩිය පේන්න නොහිටියට මේ දවස්වල නම් සුරාජ් එළියට බැහැලා වගේ?
ඔව්. ටෙලි නාට්‍ය කිහිපයකම මේ දවස්වල වැඩකරගෙන යනවා. කරපු නිර්මාණත් විකාශය වෙන්න ගත්තෙ එකම දවස්වලදී. මම දායක වුණ හොඳ නිර්මාණ ටිකක් ඉදිරියට දැකගන්න පුළුවන් වේවි. මේ නිර්මාණ අතුරින් චුට්ටෙ කියන්නේ මම කාලයක් තිස්සේ ඉඳලා ලැබෙනකම් බලාගෙන ඉඳපු චරිතයක්. ඒ වගේ චරිතයකට මට ආරාධනා කළහම ලොකු සතුටක් දැනුණා.
 හැමදාම අහිසංක පෙම්වතා වුණ සුරාජ් චුට්ටෙ හරහා වෙනසක් වෙන්න හිතුවෙ ඇයි?
ඉස්සර ඉඳපු අහිංසක සාම්ප්‍රදායික පෙම්වතා කියන චරිතයට හාරකෝටිය, චුට්ටේ කියන නිර්මාණ හරහා මට වෙනසක් කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වෙනස මමත් බලාගෙන ඉඳපු වෙනසක්.
 ඇත්තටම කවුද මේ  චුට්ටෙ?
ඉතා උසස් මනුෂ්‍යත්වයක් තියෙන, සමාජ ආසාධාරණයට නැගී සිටින, කුණු ට්‍රැක්ටරයක වැඩ කරන, දුප්පත්, හැබැයි මනුස්සකම අතින් පෝසත් තරුණයෙක්.
 ඔබට චරිතයක් හරහා වෙනසක් කරන්න මේ තරම් කාලයක් ගියේ ඇයි?
මම චරිත ඉල්ලගෙන අධ්‍යක්ෂවරු පස්සෙන් යන්නේ නැහැ. මට චරිත දුන්නේ නැහැ කියලා හිත් අමනාපකම් තියාගෙන ඉන්න කෙනෙකුත් නෙවෙයි. ලැබෙන්න ඕන කාලෙදි මට ඒ චරිත ලැබිලා තියෙනවා.
 මේ දිනවල ඔබ රංගනයෙන් දායකවන නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. කොහොමද ඒ චරිතවලට ලැබෙන ප්‍රතිචාර?
පිනි ටෙලි නාට්‍යයේ මම කරන්නේ ආදරය හින්දා ජීවිතේ හැලහැප්පීම් එක්ක ජීවත් වෙන චරිතයක්. ඒ වගේම හාරකෝටියේ නැපෝලියන්ට, චුට්ටෙ චරිතයට සහ රංගනයෙන් දායක වන සියලුම චරිතවලට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට හොඳ දක්ෂ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක්ම ලැබිලා ඉන්නවා. ඒ නිසා වැඩ කරන්න හරිම ලේසියි. හොඳ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි.
 මේ චරිත අතුරින් ඔබ කැමති චරිතයක් තියෙනවාද?
එක නාට්‍යයක චරිතයක් විශේෂයි කියලා කියන්න බැහැ. මේ හැම නාට්‍යයකටම මම එක වගේ ආදරෙයි. හැම චරිතයකටම මම එක වගේ කැපවෙනවා. මේ වෙනකොට මම දායක වුණ නාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා.
 චුට්ටෙ රූගත කිරීම් අතරතුර සුරාජ්ට හරියට අකරතැබ්බ වුණා කියන්නෙ ඇත්තද?
අම්මෝ ඔව්. මට ලොකුම අභියෝගය වුණේ කුණු ට්‍රැක්ටරයක් පැදගෙන යන එක. ඒක ටිකක් අමාරු කාර්යයක් වුණා. පුහුණුවීම් කටයුතු කරලම ට්‍රැක්ටරය එලවන්න පුරුදු වුණා. ට්‍රැක්ටරය අතට හුරු කරගන්න ලොකු කාලයක් ගියා. විශේෂයෙන් කියන්න ඕන මාත් එක්ක රඟපානවා මිහිර සිරිතිලක, නන්දන මේ දෙපළගෙන් මට ලොකු සහයෝගයක් දැනෙනවා. මිහිරගේ සමහර දෙබස්වලට ඇත්තටම හිනා යනවා. ඒ සමාජයට හැඩ ගැහෙන්න මිහිර මට ගොඩක් උදව් කළා. මොකද මෙවැනි චරිතයක් මම කරන්නේ පළමු වතාවට. සමාජය වෙනුවෙන් වැඩ කරන මේ පන්තිය වෙනුවෙන් කතාකරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේ නාට්‍යයට කතා කරපු ගමන් මම ගොඩක් ආසාවෙන් භාර ගත්තා. ඒත් අධ්‍යක්ෂවරයා කිව්වා හැබැයි කුණු ට්‍රැක්ටරයක වැඩකරන්න තියෙන්නේ කැමතිද කියලා. මම දන්නේ නැහැ මම ඒ චරිතය කොච්චර දුරට සාර්ථකව කරනවද කියලා. එත් ඒ කුණු අදින අයට ගෞරවයක් දෙන්න මට ඕන වුණා. හොඳට අධ්‍යාපනය ලබපු අය පවා මේ රස්සාව කරනවා. රස්සාව කරන්නේ ජීවත් වෙන්න. මම ඔවුන්ව අධ්‍යනය කරලා එක දෙයක් ඉගෙන ගත්තා. ඔවුන් කුණු අදින එක වුණත් කරන්නේ ආත්මයෙන්ම කැපවෙලා. අපි ඔවුන් දිහා බලන කෝණය වැරදියි. චුට්ටෙ කියන රංගනයෙන් ඔවුන්ගේ ජීවිතවල යතාර්ථය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරනවා.
 මුහුණ දෙන්න වුණ අමතක නොවන සිදුවීමකුත් කියමු?
දවසක් මට තිබුණා මැරිච්ච කපුටෙක් ගෙනල්ලා කුණු කරත්තයට දාන දර්ශණයක්. මැරිච්ච කපුටා ෂොපින් බෑග් එකක දාගෙන. මොරටුව ටවුන් එකේ දැන් රූගත කිරීම් යනවා. ඒ වෙලාවේ කොහෙදෝ ඉඳලා ආපු කපුටෝ රංචුවක් මාව වටකරගෙන මට කොටන්න ආව, ඒක මාරම සිදුවීමක්. මම උන්ව පන්නන්න හදන කොට මගේ ඇඟට උන් ජරා කළා.  පහුගිය කාලේ සුරාජ් ජනප්‍රිය නිළියක් එක්ක විවාහ වෙන්න යනවා කියලා කතාබහට ලක්වුණා.
ඇත්තටම සුරාජ්ගේ ප්‍රේමවන්තිය ජනප්‍රිය නිළියක්ද?

ඇත්තටම ඇය ජනප්‍රිය නිළියක් නෙමෙයි. මට පෙම්වතියක් ඉන්නවා. ඇය ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි. කටකතා නම් ඉතින් ගෑනු ළමයෙක් එක්ක හිනා වුනත් හැදෙනවනේ

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment