සක්වල සවාරියක් යන්න නියම තැන

ඈතට පිපුන මලක් හැඩයක් ගත්තත් මට නම් මේක පෙනුනේ රතු ඉන්දියානුවන්ගේ කුඩාරමක් වගේ. හැබැයි මේ සුවිශාල කුඩාරම ඇතුලට ගියොත් මුළු සක්වලම නැත්නම් විශ්වයේ සැරිසරලා එන්න පුළුවන්. ඉර හඳ තාරකා, ග‍්‍රහලෝක ඇස් අද්දරට ගෙනවිත් පෙන්වන මොකක්ද මේ රතු ඉන්දියානු කුඩාරම. ඔන්න එහෙනම් අහගන්න එක තමයි කොළොම්පුරේ ග‍්‍රහලෝකාගාරය.

 1965 අවුරුද්දේ ලංකා කාර්මික ප‍්‍රදර්ශණයක් කොළඹ දි පවත්වන්න තීරණය වුනා. මේ ප‍්‍රදර්ශනයේ තරගයකට නැගෙනහිර ජර්මනිය ඉදිරපත් කරපු ප‍්‍රදර්ශන භාන්ඩය තමයි මේ ග‍්‍රහලෝකාගාරය. හැබැයි ජර්මානුවන්ගේ ප‍්‍රදර්ශන භාන්ඩය වුනාට මේක හැදුවේ සැලසුම්කලේ අපේ රටේ කොන්කී‍්‍රට් වලින් වැඩ දාපු සුප‍්‍රකට කිර්තිමත් ඉංජිනේරුවෙක්වු ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහ මහත්තයා තමයි.

ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහAdd caption

 ඔය පිලී පිලී වගේ තියෙන V හැඩයේකෑලි ඔක්කෝම හැදුවේ බිම. එකෙන් එක උඩට උස්සලා පුරුද්දලා සවිකරපු මේ ඉන්ජිනේරු විස්වකර්ම වැඬේ කියන්නේ මේ ගොඩනැගිල්ලේ රාමුවක් නැත්නම් සැකිල්ලක් නෑ. සමහර අති පන්ඩිතයෝ මේ වැඬේ කරන්න බෑ කියලා කුලසිංහ මහත්තයාට දොස් කියලා එයාට වරදිනතුරු බලන් ඉදලා තිබුණා. දන්නවානේ කුලසිංහ මහත්තයා කියන්නේ විස්මකර්ම වැඩවලට දස්සයා කියලා. අපේ රටේ තිබුන සීමිත සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජන අරගෙන වැඬේ කෙරුවා. එ් දවස්වල මේ වැඬේ කරන හැටි පොටෝ ටිකක් ආචාර්ය කුලසිංහ මහත්තයා ගැන කෙරුනු රූපවාහිනි වාර්තා වැඩසටහනක දකින්න මට අවස්ථාවක් ලැබුණා. මේ පින්තුර ටික ඔයාලට පෙන්වන්න අන්තර්ජාලය පුරා කරක් ගැහුවත් වැඩක්වුනේ නෑ.

 මේ අපුරු නිර්මාණය 1965 පෙබරවාරි 01 වෙනිදා විවෘත කෙරුණා. කාර්මික ප‍්‍රදර්ශණය ඉවරවුනාට පස්සේ මේ ගොඩනැගිල්ලත් අනෙකුත් බඩුභාන්ඩත් ලංකා රජය මිලඳි ගත්තා. එදා ඉදන් මේ ග‍්‍රහලෝකාගාරය අපේ රටේ ලක්ෂ සංඛයාත පිරිසකට  විශ්වය ගැන දැනුම බෙදලා දිලා තියෙනවා. අවුරුදු ගනනාවක් මේ ග‍්‍රහලෝකාගාරය අයිතිව තිබුනේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ. 1994 දි ග‍්‍රහලෝකාගාරය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතට පැවරුනා.

මේ ග‍්‍රහලෝකාගාරයේ තියෙන සුවිශේෂි අපුරු උපකරණය තමයි විශ්ව ප‍්‍රක්ෂේපන යන්තරේ (carl zeiss universal projector). මේක අපි නැගෙනහිර ජර්මනියෙන් තමයි මිලදී ගත්තේ. ග‍්‍රහලෝකාගාරය ඇතුලේ ස්භාවික අයුරින් කෘතිම අහසක් මවා පෙන්වන්න මේ යන්තරේට පුළුවනි. වොට් 1500 ක බලයකින් යුක්ත විදුලි බුබුලක්  හා කාච පද්ධතියක් මේ යන්තරේට තියෙනවා. යන්තරේ ෂඩාස‍්‍රාකාර කොටසේ තරු සිතියම සටහන්ව තියෙනවා. මේ ප‍්‍රජෙක්ටරයේ විශේෂත්ව වෙන්නේ දිශාවන් තුනකට භ‍්‍රමණය කරවන්න පුළුවන් විමයි.පොළමේ අක්ෂයට සමාන්තරව භ‍්‍රමණය කළාම ආකාශ වස්තුන් දෛනිකව දිස්වෙන අයුරු බලා ගන්න පුළුවනි. යන්තරේ නැගෙනහිර, බටහිර දිශාවන්ට භ‍්‍රමණ කළාම ලෝකයේ  ඕනේම තැන ඉදන් අහස එහෙම නැත්නම් විශ්වය පෙනෙන හැටි බලාගන්න පුළුවනි.  කොළඹ දි අපි දකින රාත‍්‍රි අහසත්ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ හිටියා නම් බලාගන්න පුළුවන් අහසත් එකම මොහොතකදි පෙන්නවා. මේ යන්තරේට අමතරව ජපන් ආධාර යටතේ ලැබුනු කොටි තුනක් විතර වටිනා උපකරණ වලිනුත් අහසේ අපුරු දර්ශණ රාසියක් දැක බලා ගන්න පුළුවනි. 

ග‍්‍රහලෝකාගාරය ගැන විස්තර කිව්වාට තියෙන තැන කිව්වේ නෑ නේද? මේක තියෙන්නේ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ. කොළොම්පුරේ විස්ස විද්‍යාලේ ගාව කිව්වොත් හරි. ග‍්‍රහලෝකාගාරය තුල ආසන 570 ක් තියෙනවා. එ් විතරක් නෙමෙයි ග‍්‍රහලෝකාගාරය ආශි‍්‍රතව තාරකා විද්‍යා සංගම් කිහිපයක් කි‍්‍රයාත්මක වෙනවා. ජපානයෙන් ලැබුණ අධාර යටතේ ජංගම ග‍්‍රහලෝකාගාරයක් ද අපිට තියෙනවා. එකට හුළං පුරවලා ගත්තාම පංති කාමරයක් තරමට විශාලයි. එ් නිසා  ඕනෑ දුර බැහැර ප‍්‍රදේශයකට ජංගම ග‍්‍රහලෝකාගාරය අරගෙන යන්න පුළුවනි. 

මතක තියාගන්න ග‍්‍රහලෝකාගාරයේ දර්ශන පෙන්වන්නේ දවසකට දෙවරක් පමණයි. ආසන 570 ක් තිබුනත් ගොඩාක් පාසල් වලින් සක්වලේ සවාරියක් යන්න එන නිසා තරමක තදබදයක්ද පවතිනවා. ඉරිදා සදුඳා හා රජයේ නිවාඩු දවස් හැරෙන්නට අනෙක්  ඕනේම දවසක උදේ 10 ටයි හවස 2 ටයි දර්ශන පෙන්වනවා. 

ලෝකයේ අනෙකුත් ග‍්‍රහලෝකාගාරයන් එක්ක බැලූවොත් අපේ ග‍්‍රහලෝකාගාරයට තාක්ෂණය එකතුවෙන්නේ අඩුවෙන් තමයි. අළුත් උපකරණ ආදියෙන් පරිපුර්ණවුනොත් අපිට තව තවත් විශ්වය ගැන දැනුමෙන් සන්නද්ධ වෙන්න පුළුවනි. 2586499 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 

ඔන්න එහෙනම් පොළවේ ඉදන් සක්වල සවාරියක් එහෙම ගහලා එන්න පුළුවන් තැන මම කිව්වා. යන්න ගිහිල්ලා මම මේ කිව්ව තොරතුරුත් මතක් කරගෙන විශ්ව ප‍්‍රක්ශේපන යන්තරේන් පෙන්වන රෑ අහස එතැන නිදා ගන්නේ නැතිව බලලා එන්න. 
මූලාශ්‍රය- kolompure.blogspot.com

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment