සිංහලයේ අවසන් රජු රැයක් ගත කළ මීගමුවේ නිවෙස

“රාජාධි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඔහුගේ බෑනා වූ තැනැත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ශ්‍රී වර්ධන පුරයෙහි රජ විය. පහන් සිත් ඇති හෙතෙමේ දළදා වහන්සේට මිණි මුතු ආදිය ද නොයෙක් ගම්බිම් ද පූජා කළේය. එහෙත් පාපමිත්‍ර සේවනය නිසා විපරිත භාවයට පැමිණ රජු කරුණු රහිතව ජනයා පෙළීය. මෙසේ හැසිරෙන කල කෝපයට පත් උඩරට සිංහල ජනයාද කොළොම්පුරේ සිටි ඉංග්‍රීසිහුද එක්ව අභිෂේකයෙන් අටළොස් වර්ෂයේදී ඔහු ජීවග්‍රහණයෙන් ගෙන සමුදුරින් එතෙර ලැවූහ. එයින් පසු ඉංග්‍රීසි නම් ඇත්තාහූ ලංකා රාජ්‍යය අත්පත් කර ගත්තාහුය”

සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට නතුවීමෙන් පසුව රජු ඇතුළු පිරිස මෙරටින් පිටුවහල් කිරීමේ සිද්ධිය මහාවංශයේ සඳහන් වන්නේ ඉහත කී පරිදිය.”

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් කොතරම් උත්සාහ ගත්තද යටත් කර ගැනීමට නොහැකි වූ උඩරට රාජ්‍යය 1815 පෙබරවාරි 18 දින ඉංග්‍රීසින් විසින් යටත් කරගනු ලැබුවේද සිංහලයන්ගේම උපකාර ඇතිවය. 1850 දී ලංකා ඉතිහාසය පිළිබඳව ලිපියක් ලියන හෙන්රි චාල්ස් නම් ඉංග්‍රීසි ලේඛකයාට අනුව සිංහලයන් විසින් රජුව අල්ලා දෙනු නොලැබුවේ නම් ඉංග්‍රීසින්ට කවරදාවත් උඩරට රාජ්‍යය යටත් කර ගැනීමට හැකිවන්නේ නැත.

ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පියා රාමේෂ්වරම්හි නායක්කර් වංශයට අයත් අයෙකු යැයි සැලකෙන අතර, වැන්දඹු මව කිරිකැටි දරුවා සමග ඉන්දියන් සාගරය තරණය කර ලංකාවට පැමිණියේ මහනුවර පදිංචිව සිටි නෑදෑ පිරිසකගේ රැකවරණය පතාය.

ක්‍රි.ව. 1780 සිට 1795 දක්වා උඩරට රජු වූ ශ්‍රී රාජාධි රාජසිංහ රජුට නායක්කර් වංශයට අයත් බිසෝවරුන් පස් දෙනකු සිටියත් එකම බිරිඳකටවත් දරුවෝ නොවූහ. තමන්ට දරුවන් නොසිටි හෙයින් රජුගේ අදහස වූයේ තමන්ගේ ඇවෑමෙන් තමන්ගේ පළමු බිසව වූ අලමේලු අම්මා සහ තුන්වන බිරිඳ වූ රෙංගනායහි අම්මා යන සහෝදරියන් දෙදෙනාගේ වැඩිමහල් සහෝදරයා වූ මුත්තුසාමි රජකමට පත් කිරීමය. එහෙත් රජුගේ හදිසි මරණය මේ සියල්ල අවුල් කළේය. පෙර සූදානමට අනුව මුත්තුසාමි රහසිගතව රජ  වන අතර එදිනම මුත්තුසාමි පලවා හැර ශ්‍රී වික්‍රම රාජසිංහ නම් නායක්කර් රජතුමා මහනුවර රජු ලෙස අභිෂේක ලැබීය.
 
23-Rasa-P1-1

මේ සිදුවීම පිටුපස සිටියේ පිළිමතලාවේ මහ අදිකාරම්ය. පිළිමතලාවගේ අදහස වූයේ ළාබාල රජු තමන්ගේ අභිමතය පරිදි රජකම් කරනු ඇති බවය. එහෙත් එය එසේ සිදු නොවිණි. මේ නිසා සිහසුන කෙසේ හෝ තමා යටතට ගන්නට පිළිමතලාව අදිකාරම් සැලැසුම් කළේය. 1811 දී රජු ඝාතනය කිරීමට පිළිමතලාවේ සිදු කළ කුමන්ත්‍රණය හසු වූ රජු විසින් පිළිමතලාව අධිකාරම්ගේ හිස ගසා දමනු ලැබීය. පසුව එම තනතුරට පත්වන්නේ පිළිමතලාවගේ බෑනා වූ ඇහැළේපොල නිලමේය. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හා ඇහැළේපොල අදිකාරම් අතර ඇති වූ අනවබෝධය නිසාත්, රජුගේ විශ්වාසවන්තයෙකුව සිටි මොල්ලිගොඩ නිලමේ ඇහැලේපොලට එරෙහිව බොරු කේලාම් කීම නිසාත් රජු හා ඇහැළේපොළ අතර ද හොඳ හිත පලුදු විය. 1813 දී ඇහැළේපොල අදිකාරම් සබරගමුවට මාරු කර යවන්නේ ද මේ නිසාය.
23-Rasa-P1-4
දෙදෙනාගේ මෙම ගැටුම දරුණු වන්නේ රජු විසින් ඇහැළේපොල පවුල ඝාතනය කිරීමට නියෝග කිරීමත් සමගය. මෙම කාලයේ රදලවරුන්ගේ විරෝධය ද බීමත්කමට ඇබ්බැහිවීම හේතුවෙන් ද රජුගේ හැසිරීම් දරුණු විය. ඇහැළේපොල පවුල ඝාතනයට අදාළ ආඥාව නිකුත් කළේද රජු අධික ලෙස බීමත්ව සිටි අවස්ථාවක බවට ද සැලකේ.

උඩරට රාජ්‍යය ඇල්ලීම එතරම් පහසු නොවන අවධියක ශ්‍රීමත් ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ 1801 දීය. රාජසිංහ රජු අල්ලාගැනීමට ඉංග්‍රීසි-සිංහල දෙපක්ෂය අතර සබඳතාව ගොඩනගන්නේ ඩොයිලිය. ඇහැලේපොල මහඅදිකාරම විසින් මොල්ලිගොඩ අදිකාරම, එක්නැලිගොඩ අදිකාරම්, බටුවිටියේ රාල යන රදලයන්ද සත්කෝරළය, තුන් කෝරළය සහ සබරගමුවේ ජනතාව ද මේ සඳහා පොලඹවා ගන්නා ලදී. ඉංග්‍රීසි ආක්‍රමණ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රන් ආභරණ හා දළදා වහන්සේ ද රැගෙන මහනුවරින් හඟුරන්කෙත ප්‍රදේශයට පැන ගියේය. දළදා වහන්සේ ඉවතට වැඩම කරවීමේ කටයුත්ත ඉඹුල්මල්ගෙදර රාල සහ තවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමකට පැවරූ රජු තමන්ට හිතවත් දොරගමුවේ රාලත් මොලගොඩ රාලත්, හේවාවිස්සේ මඩුප්පිලිරාලත් කැටුව තමන්ගේ බිසෝවරුන්ද සමගින් උඩවත්ත කැලය හරහා ගමන් කර මහවැලි ගඟෙන් එතෙර වී මැදමහනුවර, උඩපිටියේ ගල්ලැහැවත්තේ බෝමුරේ ආරච්චිගේ නිවසට පැමිණියෝය. තමන්ගේ හැඩරුවට සමානකමක් ඇති හේවාවිස්සේ මඩුප්පිලිරාල පමණක් නතර කරගෙන දොරගමුවේ රාලත්, මොළගොඩ රාලත් පිටත් කර යැවූ බව සඳහන්ය. උඩුපිටියේ බෝමුරේ ආරච්චි රජතුමා වී අටුවක සඟවා තැබුවේය. එහෙත් මෙම රහස සඟවා තැබීමට නොහැකි වූයේ මේ පිළිබඳව තොරතුරු දැනගත් එක්නැලිගොඩ මොහොට්ටාල විසින් රජු සැඟ වී ඇති ස්ථානය පිළිබඳ තොරතුරු ඉංග්‍රීසින්ට දැනුම් දෙනු ලැබීමත් සමගය.

1815 පෙබරවාරි 14 දින රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සිංහල රජු අල්ලාගන්නට හමුදා බළඇණියක් මහනුවරට පිටත් කර යැවීය. කන්ද උඩරට බලා පැමිණෙන ඉංග්‍රීසි හමුදාවට වෙනදාට ප්‍රහාර එල්ල වන “බලන” කපොල්ලේදී හෝ කිසිදු බාධාවක් සිදුනොවූ අතර එහි සේවයේ යෙදී සිටි සිංහල හේවායෝ කිසිදු විරෝධයක් ඉංග්‍රීසින්ට එල්ල නොකළහ. 1815 පෙබරවාරි 18 දින ඉංග්‍රීසිහු වී අටුවක සැඟවී සිටි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අල්ලා ගත්හ. මාරාවේශ වූ සබරගමු වැසියෝ පිරිසක්, එක්නැලිගොඩ නිලමේ, බටුවිටියේ රාල හා ඉංග්‍රීසි සෙබළුන් බෝමුරේ රාලගේ නිවසට කඩා පැන්නාහ. එලෙස පැමිණි සිංහලයන් රජුගේත්, බිසවගේත්, සළුපිළි ඉරා පැහැර ගැනීමට අමතරව නාසයේ හා කන්වල පැලඳි රන් ආභරණ පැහැර ගත්තේ කන්වලින් හා නාසයෙන් ලේ වැගිරෙද්දී බව කියැවේ.
23-Rasa-P1-3
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු දෙසට ඇඟිල්ල දිගු කළ එක්නැලිගොඩ නිලමේ පවසා ඇත්තේ “මේකා වැල්පටක් ගෙන අතපා බැඳ කුදලාපිය” යනුවෙනි. ඒ අනුව අත් පා බඳිනු ලැබූ රජුව නිවසින් එළියට රැගෙන එන ලද්දේ බිම දිගේ ඇදගෙනය. රජුට රැකවරණය දුන් උඩපිටියේ ආරච්චි නමැති සිංහලයාවද මරා දැමූ බව  කියැවේ. රජු අල්ලාගත් පුවත යටිපහුවේ කංකානම විසින් ජෝන් ඩොයිලි වෙත දැනුම් දෙන ලද අතර, ඩොයිලි විසින් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් වෙත දන්වන ලදී. පුරා වසර 2350කට ආසන්න සිංහළේ රාජාවලියේ අවසානය සටහන් වන්නේ එම සිදුවීමත් සමගය.

ජෝන් ඩොයිලි විසින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත මෙම පුවත දැනුම්දෙනු ලැබූ විට ආණ්ඩුකාරවරයා සිට ඇත්තේ රාත්‍රී භෝජනයකට සහභාගි වෙමිනි. වසර තුන්සියයක් තිස්සේ තමන්ට පමණක් නොව පෘතුගීසින්ටත්, ලන්දේසීන්ටත් නොහැකි වූ දේ ඉටුවීම පිළිබඳව සතුටු වූ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේ පිළිබඳව සතුටු කඳුළු හෙලූ බව ද කියැවේ. ඔහු වහාම ඩොයිලිට ප්‍රකාශ කළේ ප්‍රමාද නොවී රජු ඇතුළු පිරිස දැඩි ආරක්ෂාකාරීව කොළඹට රැගෙන එන ලෙසය. කර්නල් හාඩි, සහ කර්නල් හූත් ඇතුළු තවත් සෙබළුන් 100ක්ද ආණ්ඩුකාරවරයා ඩොයිලි සමග එක්වීමට මහනුවරට යැවීය.
රජු මහනුවර සිට කොළඹට රැගෙන ආ යුත්තේ මහනුවර ප්‍රදේශය මගහරිමින් බව ඉංග්‍රීසීන් තීරණය කළේ ආරක්ෂිත පියවරක් වශයෙනි. රජතුමා රැගෙන ආ මාර්ගය මීගමුව හරහා වැටුණු බව ස්ථීර වුවද මීගමුව දක්වා පැමිණි මාර්ගය පිළිබඳව මත දෙකක් තිබේ. කුරුණෑගල, හලාවත, මීගමුව හරහා මාර්ගයත්, කුරුණෑගල දඹදෙණිය, ගිරිඋල්ල, මීගමුව යන මාර්ගයත් පිළිබඳව මත දෙකක් පවතී. නමුත් වඩා ආරක්ෂිත ක්‍රමයක් ලෙස හලාවත සිට මීගමුව හරහා හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ රජු රැගෙන ගිය බවට සාක්ෂි හමුවෙයි.

එවකට මෙම ඇළ මාර්ගය ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන තිබූ බවට ඉතිහාසගත සාධක තිබේ. 1815 පෙබරවාරි 22 දින හවස තෙල්දෙණියෙන් ගමන් ආරම්භ කළ රජතුමා ඇතුළු පිරිස දින කිහිපයකින් කොළඹ බලා පැමිණියහ. ගොඩබිම් ප්‍රදේශවලදී අවශ්‍ය දෝලා සපයාගැනීමත්, රජුට හා බිසෝවරුන්ට අවශ්‍ය ඇඳුම් සොයාගැනීම ද ඩොයිලිට භාර වූ භාරදූර කටයුතුය. එහෙත් ඔහු ඒ සියල්ලට වඩා අවධානයෙන් පසුවූයේ රජු ඉතා පරිස්සමෙන් කොළඹට රැගෙන ඒම පිළිබඳවය.

කෙසේ වෙතත් හලාවතට පැමිණ බෝට්ටුවක් මගින් කොළඹට එන ගමනේදී දිනක් පිරිස රාත්‍රිය ගත කළේ මීගමුවේ පිහිටි කුරුකුලසූරිය තම්බි මුදියන්සේ නමැත්තෙකුට අයත් නිවසකය. එම නිවස පිහිටියේ හැමිල්ටන් ඇළට මායිම්වය. රජු ඇතුළු පිරිස එදින රාත්‍රියේ අසල පිහිටි ඉංග්‍රීසි ආණ්ඩුවට අයත් ස්ථානයක නවාතැන් ගන්නට නියමිතව තිබුණද රජුගේ ඉල්ලීම වී තිබෙන්නේ තමා ගත කරන අවසන් දින කීපය තම රටවැසියකුගේ නිවසක සිටින්නට ඉඩ ලබාදෙන ලෙසය. ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන් ඉංග්‍රීසිහූ හැමිල්ටන් ඇළ අසල පිහිටි නිවසක එදින රාත්‍රිය ගත කළහ. පසු කලක එම නිවස මුදියන්සේ මහතාගේ පුත්‍රයකු වූ ගැස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වූ අතර, ගැස්ටන් ප්‍රනාන්දු මහතා වහාම කළේ රජු නැවතී සිටි නිවසක් බැවින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගනීවි යැයි බියට පත්ව එම නිවස වෙනස්කර ප්‍රතිසංස්කරණය කිරීමයි. අද වන විට එම නිවසේ පදිංචිව සිටින්නේ ගැස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන රාජින්ද්‍ර ප්‍රනාන්දු මහතාය. හැමිල්ටන් ඇළට මායිම්ව පිහිටි රාජින්ද්‍ර මහතාට අයත් මෙම නිවසේ ඉදිරිපස තාප්පයේ සඳහන්ව ඇත්තේ “ශ්‍රීවික්රාජ්” නමැති පුවරුවකි. එම පුවරුවද ඉතා පැරණි බව බැලූ බැල්මට පෙනෙයි. හැමිල්ටන් ඇළෙහි සිට මෙම නිවසට ඇති පරතරය අඩියක් දෙකක් පමණ තරම් සමීපය
Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment